Category Archives: Sport

ශ්‍රී ලංකාව 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

hotPEPPER

ඊයේ (19) රාත්‍රියේ ඕල්ඩ් ට්රැෆර්ඩ්හි දී එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගය කඩුළු හතකින් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසුව 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හට එංගලන්තයේ පැවැත්වෙන මී ලඟ ලෝක කුසලාන තරඟාවලිය තුළ සිය ස්ථානය සහතික කර ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වලට සහභාගී වීමට සිදුවනු ඇත.

ඊයේ පරාජයත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සතු ප්‍රසාද ලකුණු ප්‍රමාණය 78 ක වන අතර ඔවුන් හට මේ මස 30 වන දිනට පෙර ලකුණු 86ක් ලබා සිටින ශ්‍රී ලංකාවට අභිබවා යාමේ අවස්ථාව මේ නිසා අහිමි වේ.

මේ අනුව 1996 ලෝක ශූරයන් වන ශ්‍රී ලංකාවට, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන රටවල් සමඟ තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වී ඇත.

සුගතදාස ධාවන පථය ඉදිකිරීම ඇරැඹෙයි; දියගම, රත්නපුර, මාතර, මාතලේ, බිංගිරිය, නුවරඑළිය ප්‍රදේශවලටත් කෘත්‍රීම ධාවන පථ

දිනමිණ

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සතු එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථය නවීකරණය පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කෙරුණි. පසුගිය කාලයේ මේ ධාවන පථය එළීමට ප්‍රමාදවීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ඉදිරි මාස දෙකකදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් දායද කළ හැකි යැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විශ්වාසය පළ කළේය.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථය නවීකරණයට රුපියල් ලක්ෂ 241ක් වැයවන අතර ඉදිකිරීම් ජාත්‍යන්තරව පිළිගත් සමාගමකට පවරා තිබේ. සුගතදාස ක්‍රීඩාංගණයේ මුලින්ම කෘත්‍රීම ධාවන පථයක් 1997දී ඉදි කෙරුණු අතර පසුව 2002දී නව ධාවන පථයක් එළිමට පියවර ගෙන තිබුණි. එය කැඩී යෑමත් සමග නැවැත 2011දී ඉදිවූ ධාවන පථය විශාල අර්බුදයක් ඇති කරමින් මාස 3කින් විනාශවීමට පටන්ගත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෘත්‍රීම ධාවන පථයක පුහුණුව අහිමි විය.

“මේ ධාවන පථය එළිමේ ටෙන්ඩර් කටයුතු ආරම්භ කළ පසු විවිධ ප්‍රශ්න පැමිණියා. ප්‍රමාදය පිළිබඳ ඇතැම් අය කරුණු දැනගෙන තවත් අය කිසිවක් නොදැන චෝදනා කරමින් සිටියා. නමුත් අප පැමිණි අභියෝග ජය ගැනීමට දිවා රූ නොබලා වෙහසවී කටයුතු කළා. ඒ අනුවයි මේ ආකාරයෙන් ධාවන පථය එළිමේ කටයුතු ආරම්භ වන්නේ” ඇමැතිවරයා පැවැසීය.

“මේ ව්‍යාපෘතිය ආරම්භ කළ පසු ටෙන්ඩර් මණ්ඩල දෙකකට අපට යන්න සිදුවුණා. ඒ වෙනුවෙන්ම මාස 6කට වැඩි ප්‍රමාණයක් ගත වුණා. මේ ධාවන පථය වගේම දියගම නව ධාවන පථයක් වෙනුවෙන් තවත් සති දෙකකින් කොන්ත්‍රාත් කරුට වැඩ පවරනවා. ඉදිරි කාලයේදී රත්නපුර, මාතර, මාතලේ, බිංගිරිය හා නුවරඑළිය වැනි ප්‍රදේශවල කෘත්‍රීම ධාවන පථ අලුතින් යෙදීමට බලාපොරොත්තු වෙනවා. එවිට සෑම ප්‍රදේශයකම කෘත්‍රීම ධාවන පථ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙනවා. 2018දී ආසියානු ක්‍රිඩා උළෙල අපේ විශාල බලාපොරොත්තුවක්. මේ ධාවන පථ නිමාවූ පසුව අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ පැවැත්වෙන ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හොඳින් මුහුණදීමට හැකි බවට විශ්වාසයි” ජයසේකර මහතා පැවැසීය.

හිටපු මුදල් ඇමැති රවී කරුණානයක මහතා සුගතදාස අධිකාරිය සතු දේපල සංවර්ධනයට රුපියල් මිලියන 760ක මුදලක් ලබා දුන්නා. ඒ මුදලින් කඩා වැටී තිබූ වැසිකිළි හා නාන කාමර යළි සකස් කළා, සුගතදාස හෝටලය සම්පූර්ණ නවීකරණයකට ලක් කළා. පරිවාර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. සේවකයන්ට නේවාසිකාගාරයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අඩුපාඩු හා සුගතදාස ක්‍රීඩාංගණයේ තණකොළ සිටුවා ඉතා හොඳ ක්‍රීඩාංගණයක් නිමවා තිබෙනවා. ලබන වසරේ රුපියල් බිලියන 2.5ක මුදලක් ලබාදීමට වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැමැත්ත පළ කළා. එයින් සුගතදාස ක්‍රීඩාගාරය හා ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කිරීමට, විදුලි ආලෝක ධාරා පද්ධතිය හා අලුත් ශබ්දවාහිනී පද්ධතියක් මිළදී ගැනීමට, විදුලි පුවරු අලුතින් මේ ක්‍රීඩාංගණයට ගේනවා. එවිට නව මුහුණුවරක් මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ලැබෙනවා” ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරගාවලියට දොරටු පහසුවෙන් ව්වෘත වන ලකුණු

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශී‍්‍ර ලංකාවට දැන් හිමිව තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පසුගිය 13 වන දින පැවැත්වීමට නියමිත වූ එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙනි.

මේ වන විට 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ඍජුව සුදුසුකම් ලබා ඇත.

ශී‍්‍ර ලංකාව හෝ කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වන්නේ කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රතිඵලය මතය.

කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සියලූම තරග ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

ශ්‍රී ලංකා පිල නැවතත් ලාහෝරයට

hotPEPPER

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 3කින් සමන්විත ක්‍රිකට් තරග සංචාරය මේ මස 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වේ.

මේ සංචාරයේ දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 6 වැනිදා ඩුබායි හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. එය ශ්‍රී ලංකා කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාවද වේ. සංචාරයේ අවසන් තරගය වන තුන්වැනි විස්සයි20 තරගය ලාහෝරයේ පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබේ.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝරයේදී ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් අනතුරුව පාකිස්තානයේදී ක්‍රීඩා කල එකම විදෙස් ක්‍රිකට් කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

තරග කාල සටහන මෙසේය.

පළමු ටෙස්ට් තරගය – සැප්. 28 සිට ඔක්.2 දක්වා (අබුඩාබි)

දෙවැනි ටෙස්ට් තරගය – ඔක්.6 සිට 10 දක්වා (ඩුබායි)

පළමු එක්දින තරගය – ඔක්.13 (ඩුබායි)

දෙවැනි එක්දින තරගය – ඔක්.16 (අබුඩාබි)

තුන්වැනි එක්දින තරගය – ඔක්. 18 (අබුඩාබි)

සිවුවැනි එක්දින තරගය – ඔක්.20 (සාජා)

පස්වැනි එක්දින තරගය – ඔක්.23 (සාජා)

පළමු විස්සයි20 තරගය – ඔක්.26 (අබුඩාබි)

දෙවැනි විස්සයි20 තරගය – ඔක්.27 (අබුඩාබි)

තුන්වැනි විස්සයි20 තරගය – ඔක්.29 (ලාහෝර්)

(ආරක්ෂක තත්ත්වය අනුව)

ශ්‍රී ලංකාවේදී පිහිනුම් තටාකයේ ගිලී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මරුට

hotPEPPER

ශ්‍රී ලංකා සංචාරයක් අතරතුරදී දියේ ගිලීමෙන් 12 හැවිරිදි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත් වී ඇත්තේ සංචාරක ගුජරාට වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමක සාමාජිකයෙකු වන අතර කණ්ඩායම ලැගුම් ගෙන සිටි පමුණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලීමෙන් මෙම අවාසනාවන්ත ඉරණම මෙම ලාබාල ක්‍රීඩකයාට අත් වී තිබේ.

හෝටලයේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් විසින් අනතුරට ලක් වූ ක්‍රීඩකයා වහාම ළඟම රෝහල වෙත ගෙන ගියද ඔහු ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 17න් පහල තරගාවලියකට සහභාගි වීමට ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම පැමිණ ඇත.

පමුණුගම පොලිසිය මේ වන විට අවාසනාවන්ත ඛේදවාචකය පිළිබඳ පරීක්ෂණ සිදු කරන අතර ඊට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයෙ (බදාදා) දිනයේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයට සැරසෙයි

hotPEPPER

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

ටෙස්ට් තරගමාලාව සැප්තැම්බර් 28 වන දින ආරම්භ වන අතර ඔක්තෝබර් 10 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඩුබායි හා ෂාජා හි පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුක්ත මෙම තරගාවලියට අමතරව එක්දින තරග පහක් සහ විස්සයි 20 තරග තුනක් පැවැත්වීමට නියමිත අතර තුන්වන විස්සයි විස්ස තරගය පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වෙනු ඇත.

පසුගිය මාසයේදී ස්ක්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තාන සංචාරය අනුමත කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එරට සංචාරය කරනු ඇත්තේ කණ්ඩායමට එරෙහිව සිදුවූ මාරාන්තික ප්‍රහාරයෙන් වසර අටකට පසුවයි.

2009 වසරේදී ලාහෝර්හිදී එල්ල වූ ප්‍රහාරයෙන් අට දෙනෙකු මිය ගියහ.

2009 වසරේ සිට පාකිස්ථානයට පැමිණි එකම ජාත්‍යන්තර කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ කන්ධායමයි. ඔවුන් 2015 දී ලාහෝර් හි සීමිත ඕවර් තරග 5 ක් ක්‍රීඩා කළ අතර මෙම කාලය අතරතුර පකිස්තානය තම රට වෙනුවට තරග සඳහා භාවිතා කරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

සනත් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මෙම පිරිසේ අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දෙනු ලැබිණි. එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.

කෙසේවුවද, තරඟ පහකින් යුත් ඉන්දියාවට එරෙහි එක් දින තරඟාවලියේ තවත් තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති අතර එම කාල සීමාව තුළ සිය කටයුතුවල රැඳී සිටින බව ඉවත්ව යන තේරීම් කමිටුව පවසයි.