සයිබර් හොරුන් තායිවානයෙන් පැන්නූ ඇ.ඩොලර් මිලියනයක් මෙරට බැංකු ගිණුමක

දිනමිණ:

තායිවානයේ ප්‍රසිද්ධ වාණිජ බැංකුවකින් ඩොලර් මිලියන ගණනක මුදලක් බැංකු පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වී සොරකම් කර එම මුදල්වලින් අමෙරිකානු ඩොලර් මිලියනයක් මෙරට බැංකු ගිණුමක තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තැන්පත් කර ඇති ගිණුමේ හිමිකරු විසින් ඔහුගේ මුදල් ලබාගැනීමට ගිය අවස්ථාවේ එම ගිණුම සම්බන්ධයෙන් අවධානයෙන් සිටි රහස් පොලිස් නිලධාරින් විසින් එම පුද්ගලයා පසුගියදා (06) කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලිසිය පවසා සිටින්නේ ෆාර්ස්ටන් ඉන්ටර්නැෂනල් නමැති බැංකුවේ පරිගණක දත්ත පද්ධතියට හොරෙන් ඇතුළුව සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් සැලසුම් සහගතව ඩොලර් මිලියන 60 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සොරකම් කර ශ්‍රී ලංකාව, කාම්භෝජය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ගිණුම් ගණනාවක තැන්පත් කර ඇති බව මීට සති දෙකකට පමණ සිට තායිවාන අපරාධ පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව එම මුදල් තැන්පත් කර ඇති රටවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම්ද සමඟ එකතුව තායිවානය විසින් අන්තර්ජාතික පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

එහිදී එම මුදල් තැන්පත් කර ඇති ඒ ඒ රටවල ගිණුම් හිමියාගේ ගිණුම සොයාගත් අතර එම ගිණුම් හිමියා හඳුනා ගැනීම සහ එම ගිණුම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා රහස් පොලිසිය විසින් අධිකරණ අවසරය ද ලබාගෙන තිබූ බව වාර්තා වේ.

ඒ අනුව එම මුදල් හිමි පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු විසින් රුපියල් මිලියන 80ක මුදලක් ගිණුමෙන් ඉවත්කර ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

මෙම ගිණුම් හිමියා පසුගිය 04දා රුපියල් ලක්ෂ 300ක් ගිණුමෙන් ආපසු ලබාගෙන තිබේ.

මෙම ගිණුමට තවත බැංකුවකින් ඊ බෑන්කින් හරහා අමෙරිකානු ඩොලර් එකයි දශම තුනක මුදලක් තැන්පත් කර ඇති නමුදු ඒ මුදල ගිණුමට එක් වී නොමැත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සෙසු මූල්‍ය වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ 11 දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

රියැදුරු බලපත් දීමේදී මානසික යෝග්‍යතාවත් බැලීමේ තීරණයක්

දිනමිණ:

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ

ජනපති මෛත්‍රීපාල සිරිසේන UN සැසිය අමතමින් සිදු කරන ලද කතාවේ ප්‍රධාන කරුණු 8ක්

BBC

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝර්ක් නගරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ දෙවැනි සැසි වාරය අමතමින් සිදු කරන ලද කතාවේ ප්‍රධාන කරුණු 8ක්.

1.රටේ ජාතික දේශපාලනයට සහ ජාත්‍යන්තර දේශපාලනයට බලය අත්හැරීම ගැන ආදර්ශයක් දීම;
එම කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.
“2015 වසරේ ජනවාරි මාසයේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර මම මගේ රටේ ජනතාවට දුන් පොරොන්දු කිහිපයක් තිබෙනවා. එහිදී විශේෂයෙන් මා සඳහන් කළේ ලෝකයේ කිසියම් රටක, කිසියම් නායකයෙකුට නොතිබූ අසීමිත බලයක් ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බැවින් මා බලයට පත් වූ විට ඒ අසීමිත බලය ජනාධිපති ධූරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි. බලයට පත් වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක් සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, තනතුර තුළ තිබියදී එම බලය, බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත් හළ, පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදියට මගේ රටේ ජාතික දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳ ආදර්ශය මා විසින් දී තිබෙනවා”.

2. බොහෝ නායකයින් බලයෙන් ඉවත් වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ, එම රට තුළ සාමය බිඳීම, සාමය නැතිවීම මෙන්ම එය ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෙදීම් අසමගිකම් සඳහා බලපාන බව.
ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොහෝ නායකයින්, බලයෙන් ඉවත්වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ, රටවල් තුළ සාමය බිඳී යන අතර එය ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෙදීම් අසමගිකම් සඳහා බලපාන බව පෙන්වා දුන්නේය.
එවැනි තේරුම් ගැනීමක් යටතේ ශ්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින්, ඒවනවිට තනි ආඥාදායක ගමනක් ගිය ගිය දේශපාලන කණ්ඩායම් ඉවත් කර, රට තුළ ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්, මූලික අයිතිවාසිකම් පෝෂණය කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා මහා මණ්ඩලය හමුවේ සඳහන් කළේය.

3. තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේදී පරිසර සංරක්ෂණයට මුල් තැන දීම.
2017 වර්ෂය දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන් නම් කරමින් ශ්‍රී ලංකාව තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ආරම්භ කරන ලද අතර තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේ දී පරිසර සංරක්ෂණයට මුල් තැන දීම සිය රජයේ ප‍්‍රමුඛ කාර්යයක් බවට පත්කර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
දුගී භාවයෙන් මිදීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා “ග්‍රාම ශක්ති” නමින් නව වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලද බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

4. කාලගුණික,දේශගුණික විපර්යාසයන්ට අදාළ ජාත්‍යන්තර එකඟතා අනුව කටයුතු කිරීම.
පැරිස් සමුළුවේ දී සහ වෙනත් පරිසර ප්‍රඥප්තීන් අනුව කටයුතු කිරීම සමස්ත මානව සමාජයේ මෙන්ම මුළු මහත් ජීව ලෝකයේ පැවැත්මට වැදගත් වන බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
5. ලෝකයේ සියලු රටවල දරුවන් ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින හෙයින් ළමා ආරක්ෂණය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් වැදගත් වීම.
ශ්‍රී ලංකාව ළමා ආරක්ෂණ උදෙසා ‘දරුවන් සුරකිමු’ යන තේමාව යටතේ පුළුල් ජාතික වැඩසටහනක් ආරම්භ කළ බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මත් ද්‍රව්‍යවලින් සහ අපචාරවලින් දරුවන් බේරා ගැනීම සඳහා ජාතික සහ අන්තර්ජාතික වශයෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව මහා මණ්ඩලය ඉදිරියේ පැහැදිළි කළේය

6. කාන්තා නියෝජනය වැඩි කිරීම.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% කට අධික ජනගහනය කාන්තාවන් වන අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධන මගින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුවල 25% ක් කාන්තාවන් විය බව නීතිගත කරන ලද බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

7. විදේශීය ණය අවුල සහ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ චෝදනා.
2015 වසරේ බලයට පත් වන විට ප්‍රධාන ප්‍රශ්න දෙකකට මුහුණ දීමට සිදු වූ බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අතරින් විදේශීය ණය අවුල සහ මූල්‍ය හිඟය ඉතා බැරෑරුම් වූ බවත් ඒ අතරවාරයේ යුද සමයේ සිදු විනැයි කියනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් වූ යෝජනාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් පෙන්වා දුන්නේය.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මා පෙර කී පරිදි යුද කාලය තුළ පැවති තත්වයන් ඇසුරෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව අපි රජයක් විදියට සැලකිල්ලට අරන් ඒ කරුණුවලට ප‍්‍රමුඛතාවක් දීලා ඒ කරුණු විසඳීමට මගේ රජය කටයුතු කරනවා. ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම කියන කරුණු පදනම් කර ගෙන මගේ රජය ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ රට තුළ සාර්ථක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කිරීමේ කාර්යය ඉටු කර තිබෙනවා සේම ඉදිරි කාලය තුළ ඉතාමත් පැහැදිලිව එම කරුණු තහවුරු කිරීමට රජයක් විදියට ක‍්‍රියාකරන බව විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕන” ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

8. කඩිනම් විසඳුම් නැහැ.
ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙන නමුත් වසර 30කට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රටක් විදියට සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අවශ්‍ය සහයෝගය දෙන ලෙස ජනාධිපතිවරයා සිය කතාව අවසානයේ ඉල්ලීමක් කළේය.
“වේගවත් ගමනක් අනතුරු සහිතයි කියලා අපි සැවොම අහලා තියෙනවා. ඒ නිසා ඇතැම් අන්තවාදී පිරිස් බලාපොරොත්තු වන වේගවත්, කඩිනම් විසඳුම් දීමේ අසීරුතාවන් මුළු මහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයන් ඔබ සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා” යයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාව 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

hotPEPPER

ඊයේ (19) රාත්‍රියේ ඕල්ඩ් ට්රැෆර්ඩ්හි දී එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගය කඩුළු හතකින් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසුව 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හට එංගලන්තයේ පැවැත්වෙන මී ලඟ ලෝක කුසලාන තරඟාවලිය තුළ සිය ස්ථානය සහතික කර ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වලට සහභාගී වීමට සිදුවනු ඇත.

ඊයේ පරාජයත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සතු ප්‍රසාද ලකුණු ප්‍රමාණය 78 ක වන අතර ඔවුන් හට මේ මස 30 වන දිනට පෙර ලකුණු 86ක් ලබා සිටින ශ්‍රී ලංකාවට අභිබවා යාමේ අවස්ථාව මේ නිසා අහිමි වේ.

මේ අනුව 1996 ලෝක ශූරයන් වන ශ්‍රී ලංකාවට, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන රටවල් සමඟ තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වී ඇත.

ටයිටැනික් නැව චීනයේ නැංගුරම් ලෑමට සැරසෙයි

hotPEPPER

චීනයේ සීචුආන් පලාතේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක කොටසක් ලෙසින් සුප්‍රසිද්ධ ටයිටැනික් නැවේ සැබෑ ප්‍රමාණයේ ආකෘතියක් මේ වන විට නිම වෙමින් පවතී.

මෙහි ඉදිකිරීම් මෙම වසර අවසානය වන විට අවසන් කිරීමට නියමිත අතර පවුම් මිලියන 105ක වියදමින් සිදු කෙරෙන මෙම ටයිටැනික් ආකෘතිය දැවැන්ත සංචාරක උද්‍යානයක කොටසක් වේ.

1500කට ආසන්න පිරිසකට මරු කැඳවමින් 1912 වසරේදී දී ගිලී ගිය සුඛෝපභෝගී මගී නෞකාවේ ආකෘතිය සැබෑ නෞකාවට සෑම අතින්ම සමානව ඉදි කෙරෙනු ඇති අතර එහි සැරසිලි, ආහාර මෙනුව පවා ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණ කෙරෙනු ඇත.

දිගින් මීටර 269.06 සහ මීටර් 28.19 ක් පළලින් යුක්ත මෙම ‘චීන ටයිටැනික්’ නෞකාව, සූයින් නගරයේ ඩායිං චී ගඟේ මීටර් 10.54 ක් ගැඹුරු ජලය මත නැංගුරම් ලා තිබෙනු ඇත.

47a6a11975ec74a09192443b676a14f4

ශ්‍රී ලංකා මැරීන් භටයින් ඇමරිකානු මැරීන් බලකායේ සෙබලුන් සමග පුහුණු සැසියක් සාර්ථකව නිමා කරති

අති විශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන් බලකායක් ඇමරිකානු මැරීන් බලකායේ පුහුණුවක්ද සමග ශ්‍රී ලංකාවේද ස්ථාපිත කොට තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.