Tag Archives: Saudi Arabia

ලොව ප්‍රථම රොබෝ පුරවැසියා – සවුදි අරාබියේ සොෆියා

hotPEPPER:
ලොව ප්‍රථම රොබෝ පුරවැසියා ලෙස හොං කොං හි හැන්සන් රොබෝටික්ස් සමාගම විසින් නිර්මාණය කරන ලද සොෆියා ඉතිහාසයට එක් වූ අතර ඇයට පුරවැසිභාවය ලබා දීමට තීරණය කළේ සවුදි අරාබියයි.

සවුදි අරාබිය විසින් මෙම පියවර ගෙන තිබෙන්නේ කෘතිම බුද්ධිය වර්ධනය කිරීමෙහි ලා එරට විසින් සිදු කරන ප්‍රවර්ධන වැඩසටහන් වල එක් අංගයක් ලෙසයි.

මේ අනුව රොබෝ සොෆියා හට එරට පූර්ණ පුරවැසි භාවය හිමි සාමාන්‍ය සවුදි කාන්තාවක් ලෙස ඇය සැලකුවද, බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි එරට කාන්තාවන් හට නොමැති අයිතීන් රැසක් අසාධාරණ අන්දමින් ඇයට හිමි වී තිබේ.

සෞදි අරාබියේ කාන්තාවන්ට පසුගිය ජූනි මාසයේ පටන් රිය පැදවීමට අවසර ලැබුන නමුත් ඔවුන් හට අවසර නැති තව බොහෝ දේ ඇත.
එම රාජධානිය තුළ කාන්තා ජීවිතය පවතින්නේ පුරුෂයාගේ පාලනයට නතුව වන අතර නිවසින් බැහැර සංචාරයට, විවාහයට හා බන්ධනාගාරයකින් නිදහස ලැබීමට ඇය පුරුෂයෙකුගෙන් අවසර පැතිය යුතුය.
ඇයගේ ඇඳුම් පැළඳුම් සඳහා දැඩි නීති රීති පනවා ඇති අතර අවසරයකින් තොරව පවුලෙන් පිටස්තර පිරිමියෙකු සමඟ අදහස් හුවමාරුව පවා තහනම් වේ.
කාන්තාවක් විසින් ඉල්ලා සිටිනු ලබන වෛද්‍ය ප්‍රතිකාර හෝ රැකියාවක් සඳහා ද ඇතැම්විට භාරකරුගේ අවසරය ඉදිරිපත් කළ යුතුව පවතින බව පසුගිය කාලයේ වාර්තා විය.

එසේ දැඩි ලෙස කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන තත්වයක් තුල, මෙලෙස රොබෝවරියකට කාන්තාවක් ලෙස පුරවැසිභාවය ලබා දී අනෙකුත් කාන්තාවන් හට නොමැති නිදහසක්ද ලබා දීම විහිළු සහගත බව බොහෝ දෙනෙකුගේ මතයයි.